Thursday, January 10, 2013

මුලතිවු හරහා යාපනයට - 3


හප්පා, සෑහෙන්න දවසක් ගියා යාපනේ ගමනෙ තුන්වැනි කොටසට අත තියන්න. දැන් ඉතින් අපි නන්දිකඩාල් කලපුවෙන් එගොඩ වෙච්ච තැන ඉදන් පටන්ගමු නේද. දෙවැනි කොටස බැලුවෙ නැතිඅය මෙතනින් යන්න.

------------------------------------------------------------------------------------


කලපුවෙන් එගොඩ වෙච්ච තැන ඉදන් දිගටම තියෙන්නෙ යුද්දයේ අන්තිම දවස් ටිකේ සුන්බුන්. කැඩුනු වාහන, ගෙවල්, කූඩාරම්, බෝම්බ වලවල් හැමදේම. ඒවගේම තමයි තම තමන්ගෙ ගෙවල්වල ඉතුරු වෙච්ච දේවල් ගලවගෙන යන්න ආපු විශාල පිරිසකුත් හිටිය. පරන යකඩ එකතු කරන අයත් ඒ අතර.


--

මේ හරියෙදි වාහනේ නවත්වල ඡායාරූප ගන්න නම් ඉඩ දෙන්නෙ නෑ හමුදාවෙ මහත්තුරු. හැබැයි බස් එක ඇතුලෙ ඉදන් ගත්තුව නම් කිහිපයක් තියනව.


මේ විදිහට තව කිලෝ මීටර 2ක් විතර ගියාට පස්සෙ ආපහු දකුනට හැරිල ගිහින් තමයි ෆාරා නැව ගාවට යන්න තියෙන්නෙ. හැරෙන තැන පොඩි මුර කපොල්ලක් තියනව සොල්දාදුවො කිහිප දෙනෙක් ඉන්න. එයාල හරි කැමතියි දකුනෙන් එන අය එක්ක ටිකක් කතා කරන්න, මොකද සිංහල වචනයක් වත් ඇහෙන්නෙ ඒ වෙලාවටනෙ.

ෆාර නැව ආසන්නයේ නම් ටිකක් පහසුකම් තියනව. ඒ කියන්නෙ සිසිල් බීමක් බොන්න කඩයක් (මම දැක්ක විදිහට නම් හමුදාවෙන් තමයි පවත්වාගෙන යන්නෙ ), භාවිතා කල හැකි මට්ටමේ වැසිකිලියක් වගේ දේවල්. තව එතැන මුහුදට ඉතාමත් ආසන්නයෙන් පිහිටල තියනවා ලිදක්, හැබැයි වතුර සම්පූර්නයෙන්ම මිරිදිය වෙච්ච. නැව බලන්න විතරක් එන හුග දෙනෙකුට මගහැරෙන දෙයක් තමයි ඒක.






ෆාරා නැවේ ඡායාරූප. අවාසනාවකට වගේ අර ලිදේ ඡායාරූපයක් නෑ මගේ ලග.


ෆාරා නැවේ සහ අපි ඉදිරියෙදි ගමන් කලයුතු A35 මාර්ගයේ සිතියම.


මේ ගමන්ම මුලතිවු වෙරල ගැනත් නොකියාම බෑ. ලස්සන නම් කියල වැඩක් නෑ. සුදුම සුදු වැල්ල නිල් අහසත් එක්ක මාර ලස්සනයි. හැබැයි තාම බිම් බෝම්බ ඉවත් කරල නැ කියල හැමතැනම ගහල තියනව. ඒ නිසා පරිස්සම් විය යුතුමයි.




මුලතිවු වෙරලේ ලස්සන

අදට ඇති, ඊලගට අපි යන්නෙ කොටින්ගෙ සබ්මැරීන් බලන්න.



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, December 26, 2012

දෙසැම්බර් 26 නම් ඒ මූසල දිනය....

2004 දෙසැම්බර් 26 දවස. ජනවාරි මුල් සතියෙ කැම්පස් එකේ සෙමෙස්ටර අවසාන පරීක්ෂනය නිසා ටිකක් පාඩම් කරන්න කලින්ම කැම්පස් එකට යන්නයි ලෑස්තිය. 26 ඉරිදා උදේ 9.15, රජරට රැජිණ දුම්රියට ගොඩ උනේ ඒ සදහායි.

කවදාවත්ම නැතුව වෙලාවට කෝච්චිය පිටත් උනා. කාලිදාස පාර රේල් ගේට්ටුව පහුවෙනකොටම ගමන් වේගය හුගක් අඩු උනා. මමත් කෝච්චියෙ දොරක් ගාවත ගියා මොකද බලන්න. මේන්න බොලේ නූපෙ කුනුඇල දිගේ හෙන හයියෙන් වතුර උඩහට ගලනව.

කොච්චිය නූපෙ රේල් ගේට්ටුව ගාවටත් ආව. එතන කානුව දිගෙත් වතුර හයියෙන් උඩහට  ගලනව. ඒ මදිවට පාරදිගේ මිනිස්සු හූ තිය තිය දුවනව. ඒ අස්සෙ එක පාරටම කපිල සර් (ඔව් අපේ පියෝ කපිල සර් තමයි ) ඉන්නව රේල්පාර අයිනෙ, මාව දැක්ක ගමන් 'විදුල, මූද ගොඩ ගලනවෝ' කියල හයියෙන් කියුව. දැන් මොකද කරන්නෙ. මගෙත් ඔලුව ගිනිඅරන් වගේ. කමක් නෑ මොකකුනත් කෝච්චියෙම ඉන්නව කියල හිතාගත්ත. කොහොමින් කොහොම හරි කෝච්චිය කඹුරුගමුවට ගිහින් නැවැත්තුව.

දැන් කනින් කොනින් එක එක කතා ඇහෙනව. මුහුද ගොඩ ගලලලු. කෝච්චිය මෙතනින් එහාට යන්න බැරිලු. වැලිගම ස්ටේෂමෙන් කිසිම ආරංචියක් නැතිලු. පැලෑන හරියෙ රේල්පාරෙ කෑලිවත් නැතිලු. දැන් ඔක්කොම සෙනග කේච්චියෙන් බැහැල බලන් ඉන්නව. මම බැලුව අතේ තියන ෆෝන් එකෙන් රේඩියෝවක් වත් අල්ලල බලන්න. ඒවත් හරියට වැඩ නෑ. ගෙදරට කෝල් එකක් ගන්නත් බෑ.

දුම් රියෙ රියදුරු මහත්තයත් එලියට බැහැල කෝල් ගන්න හදනව. එයාගෙ ගෙදර උනවටුනෙලු. හොදටම බයවෙලා. ඔන්න එක පාරටම මට කේල් එකක් ආව. මගේ හොදම යාලුවෙක් වෙච්ච මහේෂ්ගෙන්. එයා කොලඹ ඉදන් කෝල කරනව අපිට මොනව වෙලාද බලන්න. මම කියුව අපේ ගෙදරට මට කතාකරන්න බෑ, ඒකනිසා පුලුවන් නම් කතා කරල මම ඉන්න තැන කියන්න කියල. කොහොම හරි ඒ විදිහට අපේ ගෙදර බයත් නැතිකරන්න මට පුලුවන් උනා.

තව පැයකින් විතර කෝච්චිය ආපහු මාතරට යවන්න තීරනය උනා. මමත් එහෙමම මාතරට ගිහින් ගෙදර ගියා. ඒ විදියට තමයි මගේ සුනාමි දවස කිසිම අතුරු ආබාදයක් නැතිව ගතවුනේ.

ඒ විදිහට බේරෙන්න අපි කොච්චර වාසනාවන්ත වෙලාද එදා....


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, November 28, 2012

ෆුල් ඔප්ෂන් නම් ඔහොම වෙන්නෙ නෑනෙ. මෙහෙම තමයි වෙන්නෙ.



ඔන්න ඉතින් මගේ යාලුවෙක් ලගකදි කාර් එකක් ගත්ත. අර විවා එලයිට් කියල තියෙන්නෙ, අන්න එයින් එකක්. අපි මිනිහට කිරා කියල කියමුකො.

කිරා ටිකක් පන්ඩිතයා, ඊටත් වැඩිය කම්මැලියා. ඒක නිසා කැම්පස් එකෙන් එලියට ඇවිල්ලත් අවුරුදු 6ක් යනකම් වාහන ලයිසොං අරගත්තෙ නෑ. මේ මනුස්සය අවුරුදු ගානක් මෝටර් බයිසිකලයක් සල්ලි වලට අරන් ගෙදර තියාගෙන ඉදල තියනව ලයිසං නැති නිසා.

පදුර වටේ තැලුව ඇතිනෙ. ඔන්න කතාව. වාහනයක් ගත්තම තව කරන්න ඕන වැඩ හොදයිනෙ. ආදායම් බලපත්‍රයක් ගන්න ඕන, රක්ශනයක් ගන්න ඕන. අපේ කිරත් හතරවටින් හොයල හොයල ෆුල් ඔෆ්ශන් එකක්ම ගත්ත මම ඇතිලු කිහිප දෙනෙක් එපයි කියද්දිම. ඔන්න දැන් හොදම හරිය.....

දවසක් අලුත්ම විවා එක ගෙදර ගේට්ටුවෙන් එලියට දාන්න ගියපු කිරා වාහනේ පැත්තක්ම ගේට්ටු කනුවෙ හැප්පුව. දැන් එක පැත්තක ඉස්සරහ දොරයි, පස්සෙ දොරයි හොදටම හීරිල, ඇතුලට තැලිල ගිහින්. මොනව කරන්නද, මිනිහ කතාකර ලයිසං තියන යාලුවෙකුට. ඊට පස්සෙ ෆුල් ඔෆ්ශන් එකට කෝල් කරල කියුව යාලුව අතින් හැප්පිච්ච විදිහට. වැඩේ අවුලක් නෑනෙ. අපි උනත් කරන්නෙ ඕකනෙ.

ඔන්න ඉතින් රක්ශනයෙන් ඇවිල්ල කතාව පිලිඅරන් ගරාජ් එකකට දාල තක්සේරුවක් අරන් දෙන්න කියනව. කිරත් ඉතින් නගරෙ තියන හොදම තැනට වාහනේ අරන් යනව. (හොදම කියන්නෙ ගනන්ම තැන බව කියන්න ඕන නෑනෙ ). තක්සේරුවකුත් හම්බ වෙනව. වාහනේ එතන තියල යන්න කියල ෆුල් ඔෆ්ශන් මහත්තය කියනව.

ඔය අස්සෙ කලු උස මහත හාදයෙක් සතියකට පස්සෙ එනව කිරා හම්බවෙන්න. ඇවිල්ල තර්ජනය කරනව, ඔයාගෙ අතින් නේද වාහනේ හැප්පුනේ, අපි ඔක්කොම දන්නව කියල. කිරා ඒක පිලිගන්නව. ඒ අස්සෙ කලු හාදය මේ කාරනේ ලිඛිතව කිරාට කියල අත්සන් කරල අරගන්නව. හැබයි කිරාට මිනිහ කියන්නෙ වෙනින් කතාවක්, හරියට වැඩේ ගොඩින් බේර ගෙන වන්දිත් අරගන්න පුලුවන් වෙන විදිහට මිනිහ කරල දෙනව වගේ.  මේ යකත් මෝඩය වගේ ඔක්කොටම අත්සන් කරනව.  


ෆුල් ඔෆ්ශන් පැත්තෙන් ආරංචියක් නැතිනිසා මාසෙකට පස්සෙ හොයල බලනකොට වන්දි කැන්සල්. හැබැයි මුන් ලියුමක් වත් එව්වෙ නෑ. හොදම දේ ගරාජ් කාරය වාහනේ හදල. ඇයි දෙය්යනේ  තක්සේරුවක් අරන් හරි කියල ගියාට පස්සෙ වන්දි ගෙවන්න බෑ කියන්නෙ නෑනෙ කිසිම රක්ශනයක්. අන්තිමට රුපියල් ලක්ශ 2ක් විතර අතින් ගෙවල වාහනේ ගෙදර ගෙනාව.

ආයිත්නම් කිරා තියා කිරාගෙ යාලුවෙක්වත් ඔය පැත්තෙ යන්නෙ නෑ.


ප.ලි.: කිරා යනු මම නොවෙමි. වරදවා වටහා නොගන්න.

ප.ප.ලි.: කිරා අඩු ගානෙ අර කලු තඩියගෙ ID එකක්වත් බලල නෑ. ඔහොම එන අය බොහෝදුරට රක්ශනයෙ වැඩ කරන අය නෙවෙයිලු. පිට අයටලු වැඩේ බාර දෙන්නෙ. කිරා හරියට වැඩ කලානම් ඔය සිද්දිය වෙන්නෙ නැතිව ගොඩ දාගන්න තිබුන. අපි මොකටද එක එක අය කියුවට සිද්දිය මේකයි කියල පිලිගෙන කොලවල අත්සන් කරල දෙන්නෙ. පොලීසියෙන් නෙමෙයිනෙ ආවෙ.



Image Source: http://www.janashakthi.com/news_events/2010/full_option_vehicle_emergency_policy.jsp

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, November 20, 2012

බල්ලොත් එක්ක බෑ කියන්නෙ ඇත්ත තමයි...


ගිය ඉරිදා බල්ලොත් එක්ක බෑ බැලුව. ප්‍රහසනයක් විදිහට බැලුවම නරකමත් නෑ. පටන් ගත්ත වෙලාවෙ ඉදන් ඉවර වෙනකම්ම කම්මැලි නැතිව බලාගෙන ඉන්න පුලුවන්. හැබැයි ගෙදර යන ගමන් හිතන්නවත්, ගෙදර ගිහින් හිතන්නවත් දෙයක් ඒකෙ නෑ.

නාට්‍යයේ නම බල්ලොත් එක්ක බෑ උනේ කොහොමද කියන එකනම් මට මාර ප්‍රශ්නයක් තාම. ඒකෙ අවස්ථා දෙකකදි විවිද දේ කරන්න ගිහින් බල්ලො පස්සෙන් එලවපු වගක් නම් කියවෙනව. ඒත් අනේ මංදා...

බල්ලොත් එක්ක බෑ වගේම තමයි බූරුවොත් එක්කත් බෑ
නාට්‍යය පටන් ගන්නකොටම රවීන්ද්‍ර ආරියරත්න ඇවිල්ල මතක් කරනව ජංගම දුරකතන තියනවනම් නිහඩ කරගන්න කියල අනි රසිකයොන්ගෙ රස වින්දනයට බාධා නොවීම සදහා. ඒ උනත් ඒක නොතේරිච්ච 3 දෙනෙක් හිටියනෙ 100ක් වත් නොහිටපු ඒ ප්‍රේක්ෂකාගාරෙ. එයාලට කියන්න ඕන බූරුවො කියලද වෙනත් අය කියලද කියල මටනම් තේරෙන්නෙ නෑ. මමනම් හිතන්නෙ චිත්‍රපටියක්, නාට්‍යයක් පටන් ගන්න කලින් ජංගම දුරකතන නිහඩ කරගන්න කියල වෙනම කියන්න ඕන නෑනෙ. මොලේ තියන මිනිස්සුන්ටනම් ඒක තේරෙන්න ඕනනෙ.

දුක හිතෙන සිද්දිය...
කතාවෙ එක තැනක තියනව ඇමති කෙනෙක්ගෙ චරිතය රගපාන විජය නන්දසිරිට හාමුදුරු කෙනෙක් විදිහට වෙස් වලාගන්න වෙන. හැබැයි විජය නන්දසිරි එන්නෙ සපත්තු දෙකකුත් දාගෙන. මම හිතුවෙ එයා ඇමති කෙනෙක් නිසා වෙස්වලාගත්තත් සපත්තු ගලවන්න අමතක වෙච්ච බව පෙන්නනය එහෙම කලේ කියල. හැබැයි නාට්‍යය ඉවර වෙලා ගෙදර එනකොට තමයි දැනගත්තෙ දියවැඩියාව නිසා එතුමගෙ එක කකුලක් කපල බොරු කකුලකින්ය රගපාන්නෙ කියල.

කොහොම උනත් සෑහෙන කාලෙකට පස්සෙ නට්‍යයක් බලල (මට මතක විදිහට අන්තිමටම බැලුවෙ චරිත හතක් එල්පින්ස්ටන් එකේදි වසර ගනනාවකට පෙර ) හොදට සතුටු උනා.

Image Source : http://www.lankatruth.com/sinhala/index.php?option=com_content&view=article&id=2655:q-q-&catid=61:2011-10-16-15-03-23&Itemid=75

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, November 14, 2012

මුලතිවු හරහා යාපනයට - 2


ඉතින් කලින් ලිපියෙන් කියපු වගේ බස් එකට වෙච්ච අකරතැබ්බය නිසා ටයර් කඩයක් අරිනකන් වව්නියාවට වෙලා උදේට හදාගෙන ආපු කෑම කන්න පටන් ගත්ත. මහ ලොකු දෙයක් නෙමෙයි, පානුයි සීනි සම්බලුයි. ඒ අතරෙම පොඩීවුන් ටිකටත් කෑම හදාගෙන දෙයියන්ගෙ පිහිටෙන් උදේ 9ට විතර ටයර් කඩයක් හොයා ගත්ත. ඒ වැඩෙත් අහවරයි එතනින්.

කට්ටිය උයන ගමන්...

වව්නියාවෙන් මුලතිවු යන්න හොදම පාර මාන්කුලම් හරහාද?  පුලියන් කුලම් හරහාද? ඔන්න ඕක තමයි අපිට ඊලගට ආපු ගැටලුව. කොලඹදි හැමෝම කියුවෙ මාන්කුලම් පාර (මේක තමයි මුලතිවු යන ප්‍රධාන පාර ) තාම හදනව කියන එක. ඒ වගේම වවුනියාවෙ ටයර් කඩේ කට්ටිය කියුවෙ පුලියන්කුලමෙන් යන පාර හොදට හදල කියල. ඉතින් අපි උඩ තියන සිතියමේ දාල තියන විදිහටම පිලියන්කුලම් වලින් යන්න තීරනය කරා.

පුලියන්කුලම හන්දියෙන් නම් මුලතිවු පාර මැටි පාරක් උනාට ටික දුරක් යනකොට හොද තාර / කොන්ක්‍රීට් පාරක් බවට පත් උනා. එතන ඉදන් නැදුන්කර්නි වෙනකම්ම තැනින් තැන හදල ඉවර නැති උනත් පාරනම් බොහෝ දුරට හොදට තිබුන. නැදුන්කර්නි  කියන්නෙත් තුම්මං හංදියක්. එතන ඉදන් තියන පාරවල් දෙකෙන්ම මුලතිවු යන්න පුලුවන්, හැබැයි එක පාරක් කිලෝමීටර 3ක් විතර දුර වැඩියි. ඉතින් අපි එතන පොලිස් මුරපොලෙන් ඇහුව මොන පාරද හොදට හදල තියෙන්නෙ කියල. උත්තරය ඔඩ්ඩුසුඩාන් හරහා තියන දුර පාරෙන් යන්න කියන එකයි.

ඔඩ්ඩුසුඩාන් වලදිද මන්ද ප්‍රභාකරන්ගෙ තේක්ක වත්ත දැකගන්න ලැබුන පාර අයිනෙම්ම. (වත්තක් නෙමෙයි ඇත්තටම, කැලෑවක්) 

ඔඩ්ඩුසුඩාන් වල තියනව ලොකු ආමි කෑම්ප් එකකුත්, 57වන සේනාංක මූලස්ථානය වගේ තමයි මතක. හරියටම ශුවර් නෑ ඉතින්. නැදුන්කර්නි - ඔඩ්ඩුසුඩාන් පාරත් නරකම නෑ. තැනින් තැන තාම හදනව, විශේෂයෙන් පාලම් ලග. ඔඩ්ඩුසුඩාන් ඉදන් මුලතිවු වෙනකම් නම් පාර අන්තිමයි. තැනින් තැන හදනව, ඒ මදිවට මඩවෙලා වැස්සත් එක්ක. පාලම් හදන තැන් වලදි පාරෙන් එලියට ගිහින් ආයිත් පාරට එකතු වෙන්න ඕනෙ. ඒ උනාට ඊටත් වඩා නරක පාරක් ඉදිරියෙදි හම්බ වෙනව. හික්.

ඔඩ්ඩුසුඩාන් වලදි නම් අපිට හිතුන කොහොමත් මාන්කුලම් වලින් ආපු නැති එක හොදයි කියල පාරෙ හැටියට. හැබැයි තව අවුරුද්දක් වගේ යනකොටනම් මේ පාරවල් වල වැඩ ඉවරෙටම ඉවර වෙලා තියේවි.

ඔන්න ඉතින් ඔහොම ගිහින් එක පාරටම අපි මුලතිවු නගරයට සේන්දු උනා. ඒ නන්දිකඩාල් කලපුව අයිනෙන් ටික දුරක් ගමන් කිරීමෙන් පස්සෙ. ප්‍රධාන පාරෙ ඉදන් මූදටනම් ටිකක් දුරයි. මූදට යන්න ලොකු ආසාවක් තිබුනත් පරක්කු වෙලා තිබිච්ච නිසා අපි ඒ පැත්තට යන්නෙ නැතිව මුලතිවු ටවුම පහු කරන් පරන්තන් මාර්ගයේ ඉදිරියට යන්න ගත්ත.


මේ තියෙන්නෙ නන්ඩිකඩාල් කලපුව මුහුදට වැටෙන තැන. යුද්දයේ අනිතිම දවස්වල මිනිස්සු වැල නොකැඩී ආවෙ මෙතනින් තමයි.


මීලග නැවතුම - ෆාරා නෞකාව. ඊලග ලිපියෙන් හමුවෙමු.

ප. ලි. : හොද හොද සෙල්ලම් එලිවෙන ජාමටනේ. තාම බලන්න ගියපු කිසිම තැනක් ගැන ලියුවෙ නෑ. ඊලග දවසෙ නම් අනිව යාපනයට යනකම් යනව.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, November 8, 2012

මුලතිවු හරහා යාපනයට



ඔන්න ඉතින් ඊයෙ පෙරේද ගියපු ගමනක් ගැන උනු උනුවෙම විස්තර ටිකක් ගේන්න තමයි හදන්නෙ.

කාලෙකින් එකතුවෙලා කොහේවත් ගියපු නැතිනිසා ලග එන දිග නිවාඩුවට ට්‍රිපක් යන්න ඕන කියල හැමෝම කතා වෙන්න ගත්ත. මුලින්ම ආවෙ නැගෙනහිර පැත්තෙ රවුමක් යන්න, ඒත් අපේ ටික දෙනෙක් ඒ පැත්තෙ ගිහින් තිබුන නිසයි, කවුරුවත් යුද්දෙන් පස්සෙ යාපනේ ගිහින් තිබුනෙ නැති නිසයි යාපනයෙ යන්න අන්තිමට තීරනය උනා.

ට්‍රිප් එකක් යනකොට තියන අමාරුම වැඩේනෙ නවතින තැනයි යන්න වාහනෙයි හොයාගන්න එක. කොහොමින් කොහොමහරි වැඩේ ඇදි ඇදි ගිහින් දිග නිවාඩුවට නවතින තැනක් යාපනයෙන් හොයා ගන්න බැරිඋනා. ඉතින් ඊට කලින් සතියට ට්‍රිප් එක මාරු උනා. ඒ කියන්නෙ බ්‍රහස්පතින්දා රෑ ගිහින් ඉරිද රෑට ආපහු එන්න, සිකුරාද නිවාඩුවක් අතින් දාගෙන.

ඔන්න ඉතින් කතාකරගත්තු විදිහට රෑ 9 මාරට අපේ ගෙවල් ගාවින්, ඒ කියන්නෙ ගල්කිස්සෙන් ගමන පටන්ගත්ත. අරහෙ මෙහෙ හිටපු කට්ටිය එකතු කරගෙන අන්තිමය යක්කලෙන් ගන්නකොට වෙලාව කොහොමහරි 11ත් පහුවෙලා.


බස් එක (UD NISSAN)

මෙන්න මේ වෙලාවෙ තමයි අපි දවසේ මෝඩ තීරනය ගන්නෙ. ඒ තමයි ජා ඇලෙන් හරි කටුනායකින් හරි පුත්තලම පාරට නොගිහින් පාදෙනිය හරහා අනුරාධපුරයට යන එක. යක්කල ඉදන් අබේපුස්සට යනකම්ම ලොරි තොගයක් ඉස්සර කර කර ගියපු අපි කුරුනෑගල පැනල පොඩ්ඩ දුරක් ගියපු ගමන්ම පලවෙනි අවාසනාවන්ත වැඩේ උනා. ඉස්සරහ ටයර් එකේ හුලං ගියා. මොනව කරන්නද, පැය බාගයක් විතර දගලල ඕකත් දාගෙන ආයිත් ගමන  පිටත් උනා. අපි පුත්තලම පාරෙන් ගියානම් මේ කිසිදෙයක් නොවී ෂෝක් එකේ යන්න තිබුන.

කුරුනෑගල, පාදෙනිය, අනුරාධපුරය, මැදවච්චිය පහුකරගෙන උදේ පාන්දර 5ට වගේ අපි වව්නියාවට ආව. මෙතනින් එහාට ටයර් කඩ ගැන විශ්වාසයක් නැතිනිසා තයර් එක හදාගෙනම යන්න ඕන කියල බස් එකේ කට්ටිය කියන්න ගත්ත. මොනව කරන්නද, යන්තම් ඇරපු කඩයකින් තේ එකක් බස්සගෙන අරහෙට මෙහෙට කෝල් වගයක් දීල දන්න කියන කෙනෙක් ඉන්න තැනක් හොයාගත්ත පොඩ්ඩක් මූනවත් හෝදගන්න ඕන කියල. කලින් අපි හිතාන හිටියෙ මේ වැඩේ මුලතිවු වලින්ම කරගන්න පුලුවන් කියල.

කතාව දිග වැඩියි වගේ නෙද? මම හිතන් හිටියෙනම් යාපනේට යනකම්ම මේකෙ ලියන්න. ඒත් එහෙනම් ඉතිරි ටික දෙවැනි කොටසකින් දාන්නම්.

ප. ලි. : මේ ගමන යන්න හොදම මාර්ගය තමයි මීගමුව, හලාවත, පුත්තලම හරහා අනුරාධපුරයට ගිහින් එතනින් මැදවච්චිය හරහා A9 ඔස්සේ වව්නියාවට යන එක.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, October 26, 2012

2012 පොත් ප්‍රදර්ශනයටත් ගියානෙ

දෙයියනේ, මට මේක පබ්ලිශ් කොරන්න අමතක වෙලානෙ.




අනිත් හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් පොත් ප්‍රදර්ශනයට ගොඩවැදුනෙ හොද පොත් ටිකක් ගන්න බලාපොරොත්තුවෙන්. වෙනද වගේම හෙන ගේමක් දීල කාර් එක පාක් කරගෙන (නයෙක් හොදෙයි ) ඇතුලට ගියා. පුරුදු පරිදිම මුලින් විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය කවර් කරල අනිත් තැන් වලිනුත් පොත් එක දෙක ගත්ත. අපේ පොඩි බබාටත් පොත් ගන්න ඌන වෙලා තිබ්බ නිසා (විශේෂයෙන්ම රුසියානු සහ සිබිල් වෙත්තසිංහ/ජානකී සූරිය ආරච්චි ) මගේ පොත් ලැයිස්තුව ටිකක් පොඩියට තමයි දිවුවෙ. මේ තියෙන්නෙ ඒක තමයි.

මං ඉපදුන දා - ජානකී සූරිය ආරච්චි - මේක අපේ චූටි බබාට.

සමුදුරු පත්ලේ සවාරියක් - ජුලස් වර්න් - ධනපාල ගුනසේකර පරිවර්තනයක්
අල්යොන්කා සහ ඉවාන්, රුසියානු ජන කතා - පසන් කොඩිකාර පරිවර්තනයක්
ධනවත් පියා, දිළිදු පියා - රොබර්ට් කියොසාකි සහ ළ්. ලෙච්ටර් - ප්‍රදීප් කුමාර බාලසුරිය පරිවර්තනයක්
ව්‍යවච්ඡේදකයා - ෆෙදරිකෝ ඇන්ඩහසි - ගාමිණී වියන්ගොඩ පරිවර්තනයක්
Steve Jobs - Walter Lsaacson

අන්තිම පොත මම අවුරුද්දක විතර ඉදන් හොය හොයා හිටපු එකක්. ඒක ටිකක් ගනන් වුන නිසා වෙනින් පොත් 4-5 ගන්න තිබ්බ හැකියාව නැතිඋනා. කොහොමත් වෙනින් වෙනින් හේතු නිසා සැප්තැම්බර් මාසය ටිකක් රිම් එකෙන් දිව්වෙ. දැන් ඉතින් කියවන්න පටන් ගන්න ඕන.

ප්‍රදර්ශනයට ගිය එකෙන් වික්ටර් රත්නායකයන්ගෙ පොඩි වැඩක් ගැනත් ඔත්තුවක් ලැබුන. ඒකටත් පස්සෙ දවසෙ ආව. පොඩි සංගීත සැදෑවක් නොමිලේම වික්ටර් රසිකයන්ට. නියම අත්දැකීමක්. DVD එකකුත් ගත්ත මම. තාම සම්පූර්නයෙන්ම අහන්න නම් උනේ නෑ.


ගිය සතියෙ ගියපු යාපනයෙ ගමන ගැන ලිපි පෙලක් ලගදීම.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments