Wednesday, May 15, 2013

ඇයි මල්ලි ලංකාවෙ HappyCow චීස් විකුනන්න බැරිද?



මේකත් පිටරට ගියපු වෙලාවක කතාවක්. මේ දවස්වල මතක් වෙන්නෙම ඒ වගේ කතානෙ.

ගිය මාසෙ දවසක සාජා යන්න උනා රාජකාරි වැඩකට. සාජා කියන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙ තියන කොටසක් බව දන්නව ඇතිනෙ. ඩුබායි, අබුඩාබි එහෙම තියෙන්නෙත් ඕකෙම තමයි.

දවස් 3කට ගියපු නිසා වැඩිය ඇවිදින්න උනේ නැතත් එක දවසක් රෑ කැම්පස් කාලෙ යාලුවෙකුත් එක්ක ඩුබායි පැත්තෙ රවුමක් යන්න පුලුවන් වුනා. දන්න කියන හැමෝම ඩුබයි වල චීස් ලාබයි කියපු නිසා මමත් ගියා චීස් ටිකක් ගන්න කියල සුපර් මාකට් එකකට.

ඇත්ත තමයි, චීස් පට්ට ලාබයි. ලංකාවෙ ගානෙන් තුනෙන් එකයි. හැපී කවු චීස් ටිකක් ගන්නෙයි කියල කල් ඉකුත්වීමේ දිනය බලන්න යට පැත්ත බැලුවම තමයි තරු විසිඋනේ. Not for sale in Sri Lanka. මේ මොකෝ බොලේ මේ??? විලි ලැජ්ජාවෙ බෑ....

ප.ලි.: ආරංචි විදිහට ලංකාවෙ හැපී කවු නියෝජිතයගෙ ඉල්ලීමක් විදිහටලු මෙහෙම  කරල තියෙන්නෙ අපේ අය්යල එහෙන් චීස් ගෙනත් ලොකු ලාබ තියන් මෙහේ විකුනනවට.

Image from google search.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, May 8, 2013

Going Dutch ගියෙමි.



මම මීට කාලෙකට කලින් ඕස්ට්‍රේලියාවෙ ගිහින් ආපු බව මේ බ්ලොග් එක කියවන හැමෝම දන්නවනෙ. සිංගප්පූරුවට කෑම එකක් ගෙනියපු එක, සබ්වේ එකෙන් කාපු එක, ඇන්ටි අක්කගෙ කතාව එහෙම ඒ ගමනෙදි වෙච්ච දේවල් තමයි. දැන් කියන්න යන කතාවත් එහෙදි වෙච්ච දෙයක් තමයි.

ඔන්න ඉතින් අපේ මෙල්බර්න් ඔෆීසියෙ වැඩ කර කර ඉන්නකොට දවසක් මට ඇහෙනව අපේ ලොක්කා එක එක්කෙනා ගාවට ගිහින් මොනවද කුටු කුටු ගානව. මගේ එහා පැත්තෙ තියන කියුබිකල් එක ගාව කෙල්ලත් එක්ක මිනිහ කතා කරන වෙලාවෙ මමත් හොදට කන දාගෙන හිටිය. කතාව මෙහෙමයි, ඊට පස්සෙ දවසෙ දෙන්නෙක් අස්වෙලා යනවලු අලුත් තැනකට. ඉතින් එයාලත් එක්ක දවල් කෑමකට යනවලු එදාට.

මමත් ඉතින් බලන් හිටිය මට දැන් කියයි දැන් කියයි කියල. ඕස්ත්‍රේලියාවෙ කෑමත් ගනන් එකේ දවල් කෑමක් සෙට් වෙනවනම් කොච්චර එකක්ද. ඔන්න දවස උදා උනා. දවල් කෑම වෙලාවත් ලගට ආව. කට්ටිය එක්කෙනා දෙන්න නැගිටල යන්න ලෑස්ති උනා. මගේ මැනේජර් වෙච්ච මර්කො ලගට ඇවිල්ල ඇහුව "විදුල, අපි දවල් කෑමකට යනව, ඔයත් කෑම ගෙනල්ල නැත්නම් ඒකට සෙට් වෙන්න" කියල. මමත් ඉතින් ඌක කියන කල්නෙ බලන් හිටියෙ. හරි හරි යමු යමු කියල නැගිට්ට.

ඔන්න ඉතින් කට්ටියම මෙල්බර්න් ටවුන් එක හරහා ඇවිදගෙන ගිහින් එක ෆුඩ් කොට් එකකට ආව. ඇතුලට ගිහින් ලොකු මේසයක් එහෙම අල්ලගෙන ලොක්ක කියපි, "එහෙනම් කට්ටිය ගිහින් තම තමන්ගෙ කෑම ටික අරගෙන එන්න. මම එතකන් මේසෙ බලාගන්නම්". යකෝ කවුද දන්නෙ, අපි ඇවිල්ල තියෙන්නෙ going dutch නෙ. ලංකාව වගේ නෙමෙයි මෙහේ, කවුරුවත් අස්වෙලා යනකොට කොම්පැනිය ගානෙ කෑම දෙන්නෙ නෑ. අපි අපිම සල්ලි ගෙවල කෑම අරගෙන එකතුවෙලා කන එක තමයි කරන්නෙ.

ප.ලි.: මේ සිද්දිය වෙලා ගොඩක් කල් උනත් මෙහෙම කෑමකට යන එකට කියන නම දැනගත්තෙ හුගක් ලගදි අරුනි අක්කගෙ ලිපියක් කියවල. ඉතින් මේ ලිපියෙ මහන්සියෙන් කොටසක් එයාටත් තියනව.

වැඩි විස්තර...

Image Source : http://www.coloribus.com/adsarchive/tv-commercials/dos-equis-beer-going-dutch-16200955/

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, February 7, 2013

ගොලුවෙක් ෆෝන් කෝල් එකක් ගන්නව දැකල තියනවද?




මේක කාටවත් අපහාසයට ලියන දෙයක් නෙමෙයි. හැබැයි කියවගෙන යනකොට තේරේවි නව තාක්ෂණයෙන් කොයිතරම් මිනිස්සු ප්‍රයෝජන ගන්නවද කියල.

---------------------------------------------

මම සාමාන්ය‍යෙන් වැඩට යන්නෙ දුම්රියෙන්. ඊයෙත් පුරුදු විදිහටම ගිහින් කොම්පඤ්ඤවීදියෙන් බැහැල පයින්ම යුනියන් පෙදෙසට යනකොට මට ඉස්සරහින් අමුතුම හැසිරීමක් තියන මිනිහෙක් යනව. මිනිහ හෙමින් යන්නෙත් නෑ, හයියෙන් යන්නෙත් නෑ,  මට ඉස්සර කරන්න දෙන්නෙත් නෑ. මමත් ඉතින් අතාරින්නෙ නැතුව පස්සෙන්ම යනව. මිනිහ පාරෙ යනගමන් මොකක් හරි එකක් අතින් කරනව, හැබැයි පිටිපස්සෙ යන මට පේන්නෙ නෑ.


කොහොමින් කොහොම හරි පාරෙ ඉද තියන තැනක් ආව මට මිනිහව ඉස්සර කරන්න ඉඩ තියන, මම මොකක්ද දන්නවද දැක්කෙ????


ඉස්සරහින් යන කෙනාගෙ වම් අතේ ජංගම දුරකතනයක්, ඒකෙ වීඩියෝ කෝල් එකක්. අනිත් පැත්තෙ එක්කෙනා හස්ත සංඥා (වෙනින් විදිහකට කියනවනම් ගොලු භාෂාවෙන්) වලින් කතා කරනව. මේයත් උත්තර දෙනව ඒ විදිහටම. කොහොමද ටිකිරි මොලේ. ඔන්න ඔය විදිහට තමයි කතා කරන්න බැරි උත්සාහවන්තයින් දුරකතන පාවිච්චි කරල සන්නිවේදනයෙ යෙදෙන්නෙ.



Image Source : http://www.123rf.com/photo_12288521_sketch-of-sign-language-hand-gestures-letter-i-vector-illustration.html


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, January 10, 2013

මුලතිවු හරහා යාපනයට - 3


හප්පා, සෑහෙන්න දවසක් ගියා යාපනේ ගමනෙ තුන්වැනි කොටසට අත තියන්න. දැන් ඉතින් අපි නන්දිකඩාල් කලපුවෙන් එගොඩ වෙච්ච තැන ඉදන් පටන්ගමු නේද. දෙවැනි කොටස බැලුවෙ නැතිඅය මෙතනින් යන්න.

------------------------------------------------------------------------------------


කලපුවෙන් එගොඩ වෙච්ච තැන ඉදන් දිගටම තියෙන්නෙ යුද්දයේ අන්තිම දවස් ටිකේ සුන්බුන්. කැඩුනු වාහන, ගෙවල්, කූඩාරම්, බෝම්බ වලවල් හැමදේම. ඒවගේම තමයි තම තමන්ගෙ ගෙවල්වල ඉතුරු වෙච්ච දේවල් ගලවගෙන යන්න ආපු විශාල පිරිසකුත් හිටිය. පරන යකඩ එකතු කරන අයත් ඒ අතර.


--

මේ හරියෙදි වාහනේ නවත්වල ඡායාරූප ගන්න නම් ඉඩ දෙන්නෙ නෑ හමුදාවෙ මහත්තුරු. හැබැයි බස් එක ඇතුලෙ ඉදන් ගත්තුව නම් කිහිපයක් තියනව.


මේ විදිහට තව කිලෝ මීටර 2ක් විතර ගියාට පස්සෙ ආපහු දකුනට හැරිල ගිහින් තමයි ෆාරා නැව ගාවට යන්න තියෙන්නෙ. හැරෙන තැන පොඩි මුර කපොල්ලක් තියනව සොල්දාදුවො කිහිප දෙනෙක් ඉන්න. එයාල හරි කැමතියි දකුනෙන් එන අය එක්ක ටිකක් කතා කරන්න, මොකද සිංහල වචනයක් වත් ඇහෙන්නෙ ඒ වෙලාවටනෙ.

ෆාර නැව ආසන්නයේ නම් ටිකක් පහසුකම් තියනව. ඒ කියන්නෙ සිසිල් බීමක් බොන්න කඩයක් (මම දැක්ක විදිහට නම් හමුදාවෙන් තමයි පවත්වාගෙන යන්නෙ ), භාවිතා කල හැකි මට්ටමේ වැසිකිලියක් වගේ දේවල්. තව එතැන මුහුදට ඉතාමත් ආසන්නයෙන් පිහිටල තියනවා ලිදක්, හැබැයි වතුර සම්පූර්නයෙන්ම මිරිදිය වෙච්ච. නැව බලන්න විතරක් එන හුග දෙනෙකුට මගහැරෙන දෙයක් තමයි ඒක.






ෆාරා නැවේ ඡායාරූප. අවාසනාවකට වගේ අර ලිදේ ඡායාරූපයක් නෑ මගේ ලග.


ෆාරා නැවේ සහ අපි ඉදිරියෙදි ගමන් කලයුතු A35 මාර්ගයේ සිතියම.


මේ ගමන්ම මුලතිවු වෙරල ගැනත් නොකියාම බෑ. ලස්සන නම් කියල වැඩක් නෑ. සුදුම සුදු වැල්ල නිල් අහසත් එක්ක මාර ලස්සනයි. හැබැයි තාම බිම් බෝම්බ ඉවත් කරල නැ කියල හැමතැනම ගහල තියනව. ඒ නිසා පරිස්සම් විය යුතුමයි.




මුලතිවු වෙරලේ ලස්සන

අදට ඇති, ඊලගට අපි යන්නෙ කොටින්ගෙ සබ්මැරීන් බලන්න.



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, December 26, 2012

දෙසැම්බර් 26 නම් ඒ මූසල දිනය....

2004 දෙසැම්බර් 26 දවස. ජනවාරි මුල් සතියෙ කැම්පස් එකේ සෙමෙස්ටර අවසාන පරීක්ෂනය නිසා ටිකක් පාඩම් කරන්න කලින්ම කැම්පස් එකට යන්නයි ලෑස්තිය. 26 ඉරිදා උදේ 9.15, රජරට රැජිණ දුම්රියට ගොඩ උනේ ඒ සදහායි.

කවදාවත්ම නැතුව වෙලාවට කෝච්චිය පිටත් උනා. කාලිදාස පාර රේල් ගේට්ටුව පහුවෙනකොටම ගමන් වේගය හුගක් අඩු උනා. මමත් කෝච්චියෙ දොරක් ගාවත ගියා මොකද බලන්න. මේන්න බොලේ නූපෙ කුනුඇල දිගේ හෙන හයියෙන් වතුර උඩහට ගලනව.

කොච්චිය නූපෙ රේල් ගේට්ටුව ගාවටත් ආව. එතන කානුව දිගෙත් වතුර හයියෙන් උඩහට  ගලනව. ඒ මදිවට පාරදිගේ මිනිස්සු හූ තිය තිය දුවනව. ඒ අස්සෙ එක පාරටම කපිල සර් (ඔව් අපේ පියෝ කපිල සර් තමයි ) ඉන්නව රේල්පාර අයිනෙ, මාව දැක්ක ගමන් 'විදුල, මූද ගොඩ ගලනවෝ' කියල හයියෙන් කියුව. දැන් මොකද කරන්නෙ. මගෙත් ඔලුව ගිනිඅරන් වගේ. කමක් නෑ මොකකුනත් කෝච්චියෙම ඉන්නව කියල හිතාගත්ත. කොහොමින් කොහොම හරි කෝච්චිය කඹුරුගමුවට ගිහින් නැවැත්තුව.

දැන් කනින් කොනින් එක එක කතා ඇහෙනව. මුහුද ගොඩ ගලලලු. කෝච්චිය මෙතනින් එහාට යන්න බැරිලු. වැලිගම ස්ටේෂමෙන් කිසිම ආරංචියක් නැතිලු. පැලෑන හරියෙ රේල්පාරෙ කෑලිවත් නැතිලු. දැන් ඔක්කොම සෙනග කේච්චියෙන් බැහැල බලන් ඉන්නව. මම බැලුව අතේ තියන ෆෝන් එකෙන් රේඩියෝවක් වත් අල්ලල බලන්න. ඒවත් හරියට වැඩ නෑ. ගෙදරට කෝල් එකක් ගන්නත් බෑ.

දුම් රියෙ රියදුරු මහත්තයත් එලියට බැහැල කෝල් ගන්න හදනව. එයාගෙ ගෙදර උනවටුනෙලු. හොදටම බයවෙලා. ඔන්න එක පාරටම මට කේල් එකක් ආව. මගේ හොදම යාලුවෙක් වෙච්ච මහේෂ්ගෙන්. එයා කොලඹ ඉදන් කෝල කරනව අපිට මොනව වෙලාද බලන්න. මම කියුව අපේ ගෙදරට මට කතාකරන්න බෑ, ඒකනිසා පුලුවන් නම් කතා කරල මම ඉන්න තැන කියන්න කියල. කොහොම හරි ඒ විදිහට අපේ ගෙදර බයත් නැතිකරන්න මට පුලුවන් උනා.

තව පැයකින් විතර කෝච්චිය ආපහු මාතරට යවන්න තීරනය උනා. මමත් එහෙමම මාතරට ගිහින් ගෙදර ගියා. ඒ විදියට තමයි මගේ සුනාමි දවස කිසිම අතුරු ආබාදයක් නැතිව ගතවුනේ.

ඒ විදිහට බේරෙන්න අපි කොච්චර වාසනාවන්ත වෙලාද එදා....


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, November 28, 2012

ෆුල් ඔප්ෂන් නම් ඔහොම වෙන්නෙ නෑනෙ. මෙහෙම තමයි වෙන්නෙ.



ඔන්න ඉතින් මගේ යාලුවෙක් ලගකදි කාර් එකක් ගත්ත. අර විවා එලයිට් කියල තියෙන්නෙ, අන්න එයින් එකක්. අපි මිනිහට කිරා කියල කියමුකො.

කිරා ටිකක් පන්ඩිතයා, ඊටත් වැඩිය කම්මැලියා. ඒක නිසා කැම්පස් එකෙන් එලියට ඇවිල්ලත් අවුරුදු 6ක් යනකම් වාහන ලයිසොං අරගත්තෙ නෑ. මේ මනුස්සය අවුරුදු ගානක් මෝටර් බයිසිකලයක් සල්ලි වලට අරන් ගෙදර තියාගෙන ඉදල තියනව ලයිසං නැති නිසා.

පදුර වටේ තැලුව ඇතිනෙ. ඔන්න කතාව. වාහනයක් ගත්තම තව කරන්න ඕන වැඩ හොදයිනෙ. ආදායම් බලපත්‍රයක් ගන්න ඕන, රක්ශනයක් ගන්න ඕන. අපේ කිරත් හතරවටින් හොයල හොයල ෆුල් ඔෆ්ශන් එකක්ම ගත්ත මම ඇතිලු කිහිප දෙනෙක් එපයි කියද්දිම. ඔන්න දැන් හොදම හරිය.....

දවසක් අලුත්ම විවා එක ගෙදර ගේට්ටුවෙන් එලියට දාන්න ගියපු කිරා වාහනේ පැත්තක්ම ගේට්ටු කනුවෙ හැප්පුව. දැන් එක පැත්තක ඉස්සරහ දොරයි, පස්සෙ දොරයි හොදටම හීරිල, ඇතුලට තැලිල ගිහින්. මොනව කරන්නද, මිනිහ කතාකර ලයිසං තියන යාලුවෙකුට. ඊට පස්සෙ ෆුල් ඔෆ්ශන් එකට කෝල් කරල කියුව යාලුව අතින් හැප්පිච්ච විදිහට. වැඩේ අවුලක් නෑනෙ. අපි උනත් කරන්නෙ ඕකනෙ.

ඔන්න ඉතින් රක්ශනයෙන් ඇවිල්ල කතාව පිලිඅරන් ගරාජ් එකකට දාල තක්සේරුවක් අරන් දෙන්න කියනව. කිරත් ඉතින් නගරෙ තියන හොදම තැනට වාහනේ අරන් යනව. (හොදම කියන්නෙ ගනන්ම තැන බව කියන්න ඕන නෑනෙ ). තක්සේරුවකුත් හම්බ වෙනව. වාහනේ එතන තියල යන්න කියල ෆුල් ඔෆ්ශන් මහත්තය කියනව.

ඔය අස්සෙ කලු උස මහත හාදයෙක් සතියකට පස්සෙ එනව කිරා හම්බවෙන්න. ඇවිල්ල තර්ජනය කරනව, ඔයාගෙ අතින් නේද වාහනේ හැප්පුනේ, අපි ඔක්කොම දන්නව කියල. කිරා ඒක පිලිගන්නව. ඒ අස්සෙ කලු හාදය මේ කාරනේ ලිඛිතව කිරාට කියල අත්සන් කරල අරගන්නව. හැබයි කිරාට මිනිහ කියන්නෙ වෙනින් කතාවක්, හරියට වැඩේ ගොඩින් බේර ගෙන වන්දිත් අරගන්න පුලුවන් වෙන විදිහට මිනිහ කරල දෙනව වගේ.  මේ යකත් මෝඩය වගේ ඔක්කොටම අත්සන් කරනව.  


ෆුල් ඔෆ්ශන් පැත්තෙන් ආරංචියක් නැතිනිසා මාසෙකට පස්සෙ හොයල බලනකොට වන්දි කැන්සල්. හැබැයි මුන් ලියුමක් වත් එව්වෙ නෑ. හොදම දේ ගරාජ් කාරය වාහනේ හදල. ඇයි දෙය්යනේ  තක්සේරුවක් අරන් හරි කියල ගියාට පස්සෙ වන්දි ගෙවන්න බෑ කියන්නෙ නෑනෙ කිසිම රක්ශනයක්. අන්තිමට රුපියල් ලක්ශ 2ක් විතර අතින් ගෙවල වාහනේ ගෙදර ගෙනාව.

ආයිත්නම් කිරා තියා කිරාගෙ යාලුවෙක්වත් ඔය පැත්තෙ යන්නෙ නෑ.


ප.ලි.: කිරා යනු මම නොවෙමි. වරදවා වටහා නොගන්න.

ප.ප.ලි.: කිරා අඩු ගානෙ අර කලු තඩියගෙ ID එකක්වත් බලල නෑ. ඔහොම එන අය බොහෝදුරට රක්ශනයෙ වැඩ කරන අය නෙවෙයිලු. පිට අයටලු වැඩේ බාර දෙන්නෙ. කිරා හරියට වැඩ කලානම් ඔය සිද්දිය වෙන්නෙ නැතිව ගොඩ දාගන්න තිබුන. අපි මොකටද එක එක අය කියුවට සිද්දිය මේකයි කියල පිලිගෙන කොලවල අත්සන් කරල දෙන්නෙ. පොලීසියෙන් නෙමෙයිනෙ ආවෙ.



Image Source: http://www.janashakthi.com/news_events/2010/full_option_vehicle_emergency_policy.jsp

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, November 20, 2012

බල්ලොත් එක්ක බෑ කියන්නෙ ඇත්ත තමයි...


ගිය ඉරිදා බල්ලොත් එක්ක බෑ බැලුව. ප්‍රහසනයක් විදිහට බැලුවම නරකමත් නෑ. පටන් ගත්ත වෙලාවෙ ඉදන් ඉවර වෙනකම්ම කම්මැලි නැතිව බලාගෙන ඉන්න පුලුවන්. හැබැයි ගෙදර යන ගමන් හිතන්නවත්, ගෙදර ගිහින් හිතන්නවත් දෙයක් ඒකෙ නෑ.

නාට්‍යයේ නම බල්ලොත් එක්ක බෑ උනේ කොහොමද කියන එකනම් මට මාර ප්‍රශ්නයක් තාම. ඒකෙ අවස්ථා දෙකකදි විවිද දේ කරන්න ගිහින් බල්ලො පස්සෙන් එලවපු වගක් නම් කියවෙනව. ඒත් අනේ මංදා...

බල්ලොත් එක්ක බෑ වගේම තමයි බූරුවොත් එක්කත් බෑ
නාට්‍යය පටන් ගන්නකොටම රවීන්ද්‍ර ආරියරත්න ඇවිල්ල මතක් කරනව ජංගම දුරකතන තියනවනම් නිහඩ කරගන්න කියල අනි රසිකයොන්ගෙ රස වින්දනයට බාධා නොවීම සදහා. ඒ උනත් ඒක නොතේරිච්ච 3 දෙනෙක් හිටියනෙ 100ක් වත් නොහිටපු ඒ ප්‍රේක්ෂකාගාරෙ. එයාලට කියන්න ඕන බූරුවො කියලද වෙනත් අය කියලද කියල මටනම් තේරෙන්නෙ නෑ. මමනම් හිතන්නෙ චිත්‍රපටියක්, නාට්‍යයක් පටන් ගන්න කලින් ජංගම දුරකතන නිහඩ කරගන්න කියල වෙනම කියන්න ඕන නෑනෙ. මොලේ තියන මිනිස්සුන්ටනම් ඒක තේරෙන්න ඕනනෙ.

දුක හිතෙන සිද්දිය...
කතාවෙ එක තැනක තියනව ඇමති කෙනෙක්ගෙ චරිතය රගපාන විජය නන්දසිරිට හාමුදුරු කෙනෙක් විදිහට වෙස් වලාගන්න වෙන. හැබැයි විජය නන්දසිරි එන්නෙ සපත්තු දෙකකුත් දාගෙන. මම හිතුවෙ එයා ඇමති කෙනෙක් නිසා වෙස්වලාගත්තත් සපත්තු ගලවන්න අමතක වෙච්ච බව පෙන්නනය එහෙම කලේ කියල. හැබැයි නාට්‍යය ඉවර වෙලා ගෙදර එනකොට තමයි දැනගත්තෙ දියවැඩියාව නිසා එතුමගෙ එක කකුලක් කපල බොරු කකුලකින්ය රගපාන්නෙ කියල.

කොහොම උනත් සෑහෙන කාලෙකට පස්සෙ නට්‍යයක් බලල (මට මතක විදිහට අන්තිමටම බැලුවෙ චරිත හතක් එල්පින්ස්ටන් එකේදි වසර ගනනාවකට පෙර ) හොදට සතුටු උනා.

Image Source : http://www.lankatruth.com/sinhala/index.php?option=com_content&view=article&id=2655:q-q-&catid=61:2011-10-16-15-03-23&Itemid=75

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments