Wednesday, November 28, 2012

ෆුල් ඔප්ෂන් නම් ඔහොම වෙන්නෙ නෑනෙ. මෙහෙම තමයි වෙන්නෙ.



ඔන්න ඉතින් මගේ යාලුවෙක් ලගකදි කාර් එකක් ගත්ත. අර විවා එලයිට් කියල තියෙන්නෙ, අන්න එයින් එකක්. අපි මිනිහට කිරා කියල කියමුකො.

කිරා ටිකක් පන්ඩිතයා, ඊටත් වැඩිය කම්මැලියා. ඒක නිසා කැම්පස් එකෙන් එලියට ඇවිල්ලත් අවුරුදු 6ක් යනකම් වාහන ලයිසොං අරගත්තෙ නෑ. මේ මනුස්සය අවුරුදු ගානක් මෝටර් බයිසිකලයක් සල්ලි වලට අරන් ගෙදර තියාගෙන ඉදල තියනව ලයිසං නැති නිසා.

පදුර වටේ තැලුව ඇතිනෙ. ඔන්න කතාව. වාහනයක් ගත්තම තව කරන්න ඕන වැඩ හොදයිනෙ. ආදායම් බලපත්‍රයක් ගන්න ඕන, රක්ශනයක් ගන්න ඕන. අපේ කිරත් හතරවටින් හොයල හොයල ෆුල් ඔෆ්ශන් එකක්ම ගත්ත මම ඇතිලු කිහිප දෙනෙක් එපයි කියද්දිම. ඔන්න දැන් හොදම හරිය.....

දවසක් අලුත්ම විවා එක ගෙදර ගේට්ටුවෙන් එලියට දාන්න ගියපු කිරා වාහනේ පැත්තක්ම ගේට්ටු කනුවෙ හැප්පුව. දැන් එක පැත්තක ඉස්සරහ දොරයි, පස්සෙ දොරයි හොදටම හීරිල, ඇතුලට තැලිල ගිහින්. මොනව කරන්නද, මිනිහ කතාකර ලයිසං තියන යාලුවෙකුට. ඊට පස්සෙ ෆුල් ඔෆ්ශන් එකට කෝල් කරල කියුව යාලුව අතින් හැප්පිච්ච විදිහට. වැඩේ අවුලක් නෑනෙ. අපි උනත් කරන්නෙ ඕකනෙ.

ඔන්න ඉතින් රක්ශනයෙන් ඇවිල්ල කතාව පිලිඅරන් ගරාජ් එකකට දාල තක්සේරුවක් අරන් දෙන්න කියනව. කිරත් ඉතින් නගරෙ තියන හොදම තැනට වාහනේ අරන් යනව. (හොදම කියන්නෙ ගනන්ම තැන බව කියන්න ඕන නෑනෙ ). තක්සේරුවකුත් හම්බ වෙනව. වාහනේ එතන තියල යන්න කියල ෆුල් ඔෆ්ශන් මහත්තය කියනව.

ඔය අස්සෙ කලු උස මහත හාදයෙක් සතියකට පස්සෙ එනව කිරා හම්බවෙන්න. ඇවිල්ල තර්ජනය කරනව, ඔයාගෙ අතින් නේද වාහනේ හැප්පුනේ, අපි ඔක්කොම දන්නව කියල. කිරා ඒක පිලිගන්නව. ඒ අස්සෙ කලු හාදය මේ කාරනේ ලිඛිතව කිරාට කියල අත්සන් කරල අරගන්නව. හැබයි කිරාට මිනිහ කියන්නෙ වෙනින් කතාවක්, හරියට වැඩේ ගොඩින් බේර ගෙන වන්දිත් අරගන්න පුලුවන් වෙන විදිහට මිනිහ කරල දෙනව වගේ.  මේ යකත් මෝඩය වගේ ඔක්කොටම අත්සන් කරනව.  


ෆුල් ඔෆ්ශන් පැත්තෙන් ආරංචියක් නැතිනිසා මාසෙකට පස්සෙ හොයල බලනකොට වන්දි කැන්සල්. හැබැයි මුන් ලියුමක් වත් එව්වෙ නෑ. හොදම දේ ගරාජ් කාරය වාහනේ හදල. ඇයි දෙය්යනේ  තක්සේරුවක් අරන් හරි කියල ගියාට පස්සෙ වන්දි ගෙවන්න බෑ කියන්නෙ නෑනෙ කිසිම රක්ශනයක්. අන්තිමට රුපියල් ලක්ශ 2ක් විතර අතින් ගෙවල වාහනේ ගෙදර ගෙනාව.

ආයිත්නම් කිරා තියා කිරාගෙ යාලුවෙක්වත් ඔය පැත්තෙ යන්නෙ නෑ.


ප.ලි.: කිරා යනු මම නොවෙමි. වරදවා වටහා නොගන්න.

ප.ප.ලි.: කිරා අඩු ගානෙ අර කලු තඩියගෙ ID එකක්වත් බලල නෑ. ඔහොම එන අය බොහෝදුරට රක්ශනයෙ වැඩ කරන අය නෙවෙයිලු. පිට අයටලු වැඩේ බාර දෙන්නෙ. කිරා හරියට වැඩ කලානම් ඔය සිද්දිය වෙන්නෙ නැතිව ගොඩ දාගන්න තිබුන. අපි මොකටද එක එක අය කියුවට සිද්දිය මේකයි කියල පිලිගෙන කොලවල අත්සන් කරල දෙන්නෙ. පොලීසියෙන් නෙමෙයිනෙ ආවෙ.



Image Source: http://www.janashakthi.com/news_events/2010/full_option_vehicle_emergency_policy.jsp

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, November 20, 2012

බල්ලොත් එක්ක බෑ කියන්නෙ ඇත්ත තමයි...


ගිය ඉරිදා බල්ලොත් එක්ක බෑ බැලුව. ප්‍රහසනයක් විදිහට බැලුවම නරකමත් නෑ. පටන් ගත්ත වෙලාවෙ ඉදන් ඉවර වෙනකම්ම කම්මැලි නැතිව බලාගෙන ඉන්න පුලුවන්. හැබැයි ගෙදර යන ගමන් හිතන්නවත්, ගෙදර ගිහින් හිතන්නවත් දෙයක් ඒකෙ නෑ.

නාට්‍යයේ නම බල්ලොත් එක්ක බෑ උනේ කොහොමද කියන එකනම් මට මාර ප්‍රශ්නයක් තාම. ඒකෙ අවස්ථා දෙකකදි විවිද දේ කරන්න ගිහින් බල්ලො පස්සෙන් එලවපු වගක් නම් කියවෙනව. ඒත් අනේ මංදා...

බල්ලොත් එක්ක බෑ වගේම තමයි බූරුවොත් එක්කත් බෑ
නාට්‍යය පටන් ගන්නකොටම රවීන්ද්‍ර ආරියරත්න ඇවිල්ල මතක් කරනව ජංගම දුරකතන තියනවනම් නිහඩ කරගන්න කියල අනි රසිකයොන්ගෙ රස වින්දනයට බාධා නොවීම සදහා. ඒ උනත් ඒක නොතේරිච්ච 3 දෙනෙක් හිටියනෙ 100ක් වත් නොහිටපු ඒ ප්‍රේක්ෂකාගාරෙ. එයාලට කියන්න ඕන බූරුවො කියලද වෙනත් අය කියලද කියල මටනම් තේරෙන්නෙ නෑ. මමනම් හිතන්නෙ චිත්‍රපටියක්, නාට්‍යයක් පටන් ගන්න කලින් ජංගම දුරකතන නිහඩ කරගන්න කියල වෙනම කියන්න ඕන නෑනෙ. මොලේ තියන මිනිස්සුන්ටනම් ඒක තේරෙන්න ඕනනෙ.

දුක හිතෙන සිද්දිය...
කතාවෙ එක තැනක තියනව ඇමති කෙනෙක්ගෙ චරිතය රගපාන විජය නන්දසිරිට හාමුදුරු කෙනෙක් විදිහට වෙස් වලාගන්න වෙන. හැබැයි විජය නන්දසිරි එන්නෙ සපත්තු දෙකකුත් දාගෙන. මම හිතුවෙ එයා ඇමති කෙනෙක් නිසා වෙස්වලාගත්තත් සපත්තු ගලවන්න අමතක වෙච්ච බව පෙන්නනය එහෙම කලේ කියල. හැබැයි නාට්‍යය ඉවර වෙලා ගෙදර එනකොට තමයි දැනගත්තෙ දියවැඩියාව නිසා එතුමගෙ එක කකුලක් කපල බොරු කකුලකින්ය රගපාන්නෙ කියල.

කොහොම උනත් සෑහෙන කාලෙකට පස්සෙ නට්‍යයක් බලල (මට මතක විදිහට අන්තිමටම බැලුවෙ චරිත හතක් එල්පින්ස්ටන් එකේදි වසර ගනනාවකට පෙර ) හොදට සතුටු උනා.

Image Source : http://www.lankatruth.com/sinhala/index.php?option=com_content&view=article&id=2655:q-q-&catid=61:2011-10-16-15-03-23&Itemid=75

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, November 14, 2012

මුලතිවු හරහා යාපනයට - 2


ඉතින් කලින් ලිපියෙන් කියපු වගේ බස් එකට වෙච්ච අකරතැබ්බය නිසා ටයර් කඩයක් අරිනකන් වව්නියාවට වෙලා උදේට හදාගෙන ආපු කෑම කන්න පටන් ගත්ත. මහ ලොකු දෙයක් නෙමෙයි, පානුයි සීනි සම්බලුයි. ඒ අතරෙම පොඩීවුන් ටිකටත් කෑම හදාගෙන දෙයියන්ගෙ පිහිටෙන් උදේ 9ට විතර ටයර් කඩයක් හොයා ගත්ත. ඒ වැඩෙත් අහවරයි එතනින්.

කට්ටිය උයන ගමන්...

වව්නියාවෙන් මුලතිවු යන්න හොදම පාර මාන්කුලම් හරහාද?  පුලියන් කුලම් හරහාද? ඔන්න ඕක තමයි අපිට ඊලගට ආපු ගැටලුව. කොලඹදි හැමෝම කියුවෙ මාන්කුලම් පාර (මේක තමයි මුලතිවු යන ප්‍රධාන පාර ) තාම හදනව කියන එක. ඒ වගේම වවුනියාවෙ ටයර් කඩේ කට්ටිය කියුවෙ පුලියන්කුලමෙන් යන පාර හොදට හදල කියල. ඉතින් අපි උඩ තියන සිතියමේ දාල තියන විදිහටම පිලියන්කුලම් වලින් යන්න තීරනය කරා.

පුලියන්කුලම හන්දියෙන් නම් මුලතිවු පාර මැටි පාරක් උනාට ටික දුරක් යනකොට හොද තාර / කොන්ක්‍රීට් පාරක් බවට පත් උනා. එතන ඉදන් නැදුන්කර්නි වෙනකම්ම තැනින් තැන හදල ඉවර නැති උනත් පාරනම් බොහෝ දුරට හොදට තිබුන. නැදුන්කර්නි  කියන්නෙත් තුම්මං හංදියක්. එතන ඉදන් තියන පාරවල් දෙකෙන්ම මුලතිවු යන්න පුලුවන්, හැබැයි එක පාරක් කිලෝමීටර 3ක් විතර දුර වැඩියි. ඉතින් අපි එතන පොලිස් මුරපොලෙන් ඇහුව මොන පාරද හොදට හදල තියෙන්නෙ කියල. උත්තරය ඔඩ්ඩුසුඩාන් හරහා තියන දුර පාරෙන් යන්න කියන එකයි.

ඔඩ්ඩුසුඩාන් වලදිද මන්ද ප්‍රභාකරන්ගෙ තේක්ක වත්ත දැකගන්න ලැබුන පාර අයිනෙම්ම. (වත්තක් නෙමෙයි ඇත්තටම, කැලෑවක්) 

ඔඩ්ඩුසුඩාන් වල තියනව ලොකු ආමි කෑම්ප් එකකුත්, 57වන සේනාංක මූලස්ථානය වගේ තමයි මතක. හරියටම ශුවර් නෑ ඉතින්. නැදුන්කර්නි - ඔඩ්ඩුසුඩාන් පාරත් නරකම නෑ. තැනින් තැන තාම හදනව, විශේෂයෙන් පාලම් ලග. ඔඩ්ඩුසුඩාන් ඉදන් මුලතිවු වෙනකම් නම් පාර අන්තිමයි. තැනින් තැන හදනව, ඒ මදිවට මඩවෙලා වැස්සත් එක්ක. පාලම් හදන තැන් වලදි පාරෙන් එලියට ගිහින් ආයිත් පාරට එකතු වෙන්න ඕනෙ. ඒ උනාට ඊටත් වඩා නරක පාරක් ඉදිරියෙදි හම්බ වෙනව. හික්.

ඔඩ්ඩුසුඩාන් වලදි නම් අපිට හිතුන කොහොමත් මාන්කුලම් වලින් ආපු නැති එක හොදයි කියල පාරෙ හැටියට. හැබැයි තව අවුරුද්දක් වගේ යනකොටනම් මේ පාරවල් වල වැඩ ඉවරෙටම ඉවර වෙලා තියේවි.

ඔන්න ඉතින් ඔහොම ගිහින් එක පාරටම අපි මුලතිවු නගරයට සේන්දු උනා. ඒ නන්දිකඩාල් කලපුව අයිනෙන් ටික දුරක් ගමන් කිරීමෙන් පස්සෙ. ප්‍රධාන පාරෙ ඉදන් මූදටනම් ටිකක් දුරයි. මූදට යන්න ලොකු ආසාවක් තිබුනත් පරක්කු වෙලා තිබිච්ච නිසා අපි ඒ පැත්තට යන්නෙ නැතිව මුලතිවු ටවුම පහු කරන් පරන්තන් මාර්ගයේ ඉදිරියට යන්න ගත්ත.


මේ තියෙන්නෙ නන්ඩිකඩාල් කලපුව මුහුදට වැටෙන තැන. යුද්දයේ අනිතිම දවස්වල මිනිස්සු වැල නොකැඩී ආවෙ මෙතනින් තමයි.


මීලග නැවතුම - ෆාරා නෞකාව. ඊලග ලිපියෙන් හමුවෙමු.

ප. ලි. : හොද හොද සෙල්ලම් එලිවෙන ජාමටනේ. තාම බලන්න ගියපු කිසිම තැනක් ගැන ලියුවෙ නෑ. ඊලග දවසෙ නම් අනිව යාපනයට යනකම් යනව.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, November 8, 2012

මුලතිවු හරහා යාපනයට



ඔන්න ඉතින් ඊයෙ පෙරේද ගියපු ගමනක් ගැන උනු උනුවෙම විස්තර ටිකක් ගේන්න තමයි හදන්නෙ.

කාලෙකින් එකතුවෙලා කොහේවත් ගියපු නැතිනිසා ලග එන දිග නිවාඩුවට ට්‍රිපක් යන්න ඕන කියල හැමෝම කතා වෙන්න ගත්ත. මුලින්ම ආවෙ නැගෙනහිර පැත්තෙ රවුමක් යන්න, ඒත් අපේ ටික දෙනෙක් ඒ පැත්තෙ ගිහින් තිබුන නිසයි, කවුරුවත් යුද්දෙන් පස්සෙ යාපනේ ගිහින් තිබුනෙ නැති නිසයි යාපනයෙ යන්න අන්තිමට තීරනය උනා.

ට්‍රිප් එකක් යනකොට තියන අමාරුම වැඩේනෙ නවතින තැනයි යන්න වාහනෙයි හොයාගන්න එක. කොහොමින් කොහොමහරි වැඩේ ඇදි ඇදි ගිහින් දිග නිවාඩුවට නවතින තැනක් යාපනයෙන් හොයා ගන්න බැරිඋනා. ඉතින් ඊට කලින් සතියට ට්‍රිප් එක මාරු උනා. ඒ කියන්නෙ බ්‍රහස්පතින්දා රෑ ගිහින් ඉරිද රෑට ආපහු එන්න, සිකුරාද නිවාඩුවක් අතින් දාගෙන.

ඔන්න ඉතින් කතාකරගත්තු විදිහට රෑ 9 මාරට අපේ ගෙවල් ගාවින්, ඒ කියන්නෙ ගල්කිස්සෙන් ගමන පටන්ගත්ත. අරහෙ මෙහෙ හිටපු කට්ටිය එකතු කරගෙන අන්තිමය යක්කලෙන් ගන්නකොට වෙලාව කොහොමහරි 11ත් පහුවෙලා.


බස් එක (UD NISSAN)

මෙන්න මේ වෙලාවෙ තමයි අපි දවසේ මෝඩ තීරනය ගන්නෙ. ඒ තමයි ජා ඇලෙන් හරි කටුනායකින් හරි පුත්තලම පාරට නොගිහින් පාදෙනිය හරහා අනුරාධපුරයට යන එක. යක්කල ඉදන් අබේපුස්සට යනකම්ම ලොරි තොගයක් ඉස්සර කර කර ගියපු අපි කුරුනෑගල පැනල පොඩ්ඩ දුරක් ගියපු ගමන්ම පලවෙනි අවාසනාවන්ත වැඩේ උනා. ඉස්සරහ ටයර් එකේ හුලං ගියා. මොනව කරන්නද, පැය බාගයක් විතර දගලල ඕකත් දාගෙන ආයිත් ගමන  පිටත් උනා. අපි පුත්තලම පාරෙන් ගියානම් මේ කිසිදෙයක් නොවී ෂෝක් එකේ යන්න තිබුන.

කුරුනෑගල, පාදෙනිය, අනුරාධපුරය, මැදවච්චිය පහුකරගෙන උදේ පාන්දර 5ට වගේ අපි වව්නියාවට ආව. මෙතනින් එහාට ටයර් කඩ ගැන විශ්වාසයක් නැතිනිසා තයර් එක හදාගෙනම යන්න ඕන කියල බස් එකේ කට්ටිය කියන්න ගත්ත. මොනව කරන්නද, යන්තම් ඇරපු කඩයකින් තේ එකක් බස්සගෙන අරහෙට මෙහෙට කෝල් වගයක් දීල දන්න කියන කෙනෙක් ඉන්න තැනක් හොයාගත්ත පොඩ්ඩක් මූනවත් හෝදගන්න ඕන කියල. කලින් අපි හිතාන හිටියෙ මේ වැඩේ මුලතිවු වලින්ම කරගන්න පුලුවන් කියල.

කතාව දිග වැඩියි වගේ නෙද? මම හිතන් හිටියෙනම් යාපනේට යනකම්ම මේකෙ ලියන්න. ඒත් එහෙනම් ඉතිරි ටික දෙවැනි කොටසකින් දාන්නම්.

ප. ලි. : මේ ගමන යන්න හොදම මාර්ගය තමයි මීගමුව, හලාවත, පුත්තලම හරහා අනුරාධපුරයට ගිහින් එතනින් මැදවච්චිය හරහා A9 ඔස්සේ වව්නියාවට යන එක.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments